කොරෝනා අභියෝග ජය ගෙන නව වසරේ නව ක්‍රීඩා සංස්කෘතියක් තුළින් රටේ ජාතික ආර්ථිකය නංවාලීමට ක්‍රීඩා අමාත්‍යාංශය අරමුණු කර ගනියි. ක්‍රීඩාවෙන් වටිනා දායකත්වයක් දීමේ අරමුණ ඇතිව තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පසුගිය වසරේ නව වැඩසටහන් රාශියක් දියත් කොට ඇති අතර, ඒවා වඩා වේගවත්ව ක්‍රියාවට නැංවීම උදා වූ වසරේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉලක්කය වී ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මනා සම්බන්ධීකරණයෙන් ක්‍රීඩාවේ මුලාරම්භය වන පාසල කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඒවායේ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු වේගවත් කිරීම, අන්තර්ජාතික තලයට මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ මූලික අත්තිවාරමක් ලෙස ක්‍රීඩා විශ්වවිද්‍යාලය සම්පූර්ණ කිරීම, ඉතිහාසයේ මුල්වරට සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා පරිශ්‍රයේ ‘ක්‍රිකට් ක්‍රීඩා’ ද්වි භාෂා නව ජාතික පාසල ආරම්භ කර සංවර්ධනය කිරීම ඇතුළු බලාපොරොත්තු රැසක් මේ වසරේ සඵල වනු ඇත.
ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය, නව ක්‍රීඩා පාසල් ආරම්භ කිරීම, ක්‍රීඩා ශිෂ්‍යාධාර හා අනෙකුත් දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඇමැති මණ්ඩල සංදේශයට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමිව ඇති බැවින් එළැඹුණු 2021 වසර ක්‍රීඩාවේ ප්‍රබෝධයක් අපේක්ෂා කළ හැක.
එම ඇමැති මණ්ඩල සංදේශය මඟින් ක්‍රීඩා පාසල් 26ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩා නව ජාතික පාසලට මේ වර්ෂයේ සිට 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම, පැලවත්ත නවෝද්‍යා පාසල මලල ක්‍රීඩා හා වොලිබෝල් ක්‍රීඩා පාසලක් ලෙස සංවර්ධනය කිරීම, පිටිපන මහින්ද රාජපක්ෂ විදුහල මලල ක්‍රීඩා පාසලක් කිරීම, මන්නාරම මුරුන්කන් මහා විදුහල පාපන්දු හා මලල ක්‍රීඩා සදහා අලුතින් සංවර්ධනය කිරීම යන යෝජනා අනුමැතියට ලක් විය.
දැනට නේවාසිකාගාර නැති ක්‍රීඩා පාසල්වල අලුතින් නේවාසිකාර ඉදිකිරීම හා පවතින නේවාසිකාගාර සංවර්ධනය කිරීම, ක්‍රීඩා ශිෂ්‍යාධාර හා අනෙකුත් දීමනා වර්තමානයට ගැලපෙන ආකාරයට වැඩි කිරීම යන යෝජනාවලට කැබිනට් අනුමැතිය හිමිව ඇති බැවින් දක්ෂ දරුවන්ට අමතර පීඩනයකින් තොරව ක්‍රීඩාව වෙනුවෙන් කැපවීමේ අවස්ථා විවර කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේ අරමුණ වී තිබේ.
පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහාම අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමේ වටිනාකම මේ වසරේදී වඩාත් හොඳින් දැකිය හැකි වනු ඇත. පාසල්වල දරු දැරියන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් නංවා ගැනීමට අවශ්‍ය ක්‍රීඩා උපකරණ, ක්‍රීඩාංගණ නවීකරණ කටයුතු හා පුහුණුවීම් කටයුතු සිදු කිරීම පිළිබඳ ප්‍රමුඛතාවක් මේ අමාත්‍යාංශයෙන් උදා වේ.
පාසල් ක්‍රීඩා සංවර්ධන කරමින් ක්‍රීඩාව සඳහා දක්ෂ දරුවන් ක්‍රීඩා පාසල් වෙත වැඩි වශයෙන් ඇතුළත් කර ඔවුන් පදක්කම් දිනා ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවට පත් කිරීමත්, එම දරුවන් යහපත් ආර්ථික පසුබිමක් යටතේ වෘත්තීමය ක්‍රීඩකයන් ලෙස සමාජගත කිරීමත් ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතාගේ අපේක්ෂාව බැවින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ගමනට මේ වසරේ අමතර ශක්තියක් ලැබී ඇත.