ආසියානු සංවර්ධන බැංකුව(ADB) මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඇති වූ දරුණු හා දිගුකාලීන කම්පන හේතුවෙන් ආසියාවේ සහ පැසිෆික් කලාපයේ ආර්ථික වර්ධන අපේක්ෂා පහළ දැමීමට තීරණය කරයි. එමෙන්ම උද්ධමනය අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ යනු ඇතැයිද සඳහන් කරයි.
මීට පෙර මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වය ස්ථාවර වනු ඇතැයි අපේක්ෂාවෙන් අප්‍රේල් මස මුලදී 2026 සහ 2027 වසර දෙක සඳහා ආර්ථික වර්ධනය සියයට 5.1ක් ලෙස පුරෝකථනය කර තිබිණ. නමුත් නවතම තත්ත්වයන් සැලකිල්ලට ගෙන 2026 සඳහා සියයට 4.7ක් ලෙසත් 2027 සඳහා සියයට 4.8ක් ලෙසත් වර්ධන අනුපාත යළි වෙනස් කර තිබේ.
එමෙන්ම උද්ධමන අනුපාතය මෙම වසරේදී සියයට 5.2ක් වනු ඇති බවත් 2027 වසරේදී එය සියයට 4.1 දක්වා අඩු වනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව උපකල්පනය කරයි. අප්‍රේල් මස මුලදී උද්ධමන ප්‍රක්ෂේපණය මෙම අගයන්ට වඩා අවම අගයක පැවතුනි. එමෙන්ම 2026 වසරේදී බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 96ක් ද 2027 දී එය ඩොලර් 80ක් දක්වා පහළ යනු ඇති බවත් සඳහන් කරයි.
එමෙන්ම ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් 2026 මැයි මාසයේදී තෙල් මිල තියුණු ලෙස ඉහළ ගොස් ආසියාවේ සහ පැසිෆික් කලාපයේ සංවර්ධනය වන රටවල වර්ධනය මෙම වසරේ සියයට 4.2 දක්වාත් 2027 වසරේ සියයට 4.0 දක්වාත් පහළ යා හැකි බව පෙන්වා දෙයි. එමෙන්ම එහිදී උද්ධමනය සියයට 7.4 දක්වා ළඟා විය හැකි බවට ද අනතුරු අඟවයි.
බලශක්ති නිෂ්පාදනයට සහ ප්‍රවාහන මාර්ගවලට ඇති අඛණ්ඩ අවදානම් මෙන්ම තෙල් හා ගෑස් මිල කෙරෙහි පවතින පීඩනය මේ සඳහා හේතු වනු ඇත. එමෙන්ම ආනයනික ඉන්ධන, විදේශයන්ගෙන් ලැබෙන මුදල්, සංචාරක කර්මාන්තය හෝ බාහිර මූල්‍යකරණය ආදිය මත දැඩි ලෙස යැපෙන ආර්ථිකයන්ට මෙම තත්ත්වය දැඩි ව බලපානු ඇති බව ද ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කරයි.

