දිගු දුර මිසයිල යෙදවීම සහ මාරාන්තික අවි අපනයනය සඳහා වන සීමාවන් ලිහිල් කිරීමට ගන්නා උත්සාහයන් ඇතුළුව රටේ සාමවාදී ව්‍යවස්ථාවට හානි කරන රජයේ පියවරයන්ට විරෝධය දක්වමින් ටෝකියෝ නුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටත ජපන් ජනතාව විශාල පිරිසක් විරෝධතාවකට එක් වෙති.
ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙනී සිටින ජපන් සිවිල් කණ්ඩායම් විසින් ඊයේ(08) එම විරෝධතාව සංවිධානය කරන ලදී. ඊට 30,000ක පමණ පිරිසක් සහභාගී වූ බව සංවිධායකයෝ පැවසූහ.
විරෝධතාවට එක් වූ එක් කාන්තාවක් ෂින්හුවා මාධ්‍ය වෙත පැවසුවේ ජපන් රජය දිගු දුර මිසයිල යෙදවීම සහ මාරාන්තික අවි අපනයනය සඳහා වන සීමාවන් ලිහිල් කිරීමේ සැලැස්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති සාමවාදී මූලධර්මවලට පටහැනි බවයි. මිසයිල යනු පහර දීමට නිර්මාණය කර ඇති ආයුධ බව ඇය පැවසූ අතර ඒවා යෙදවීම ආත්මාරක්ෂාව ලෙස සාධාරණීකරණය කළ හැකිද යන්න ප්‍රශ්න කළාය.
මෙම මිලිටරි පියවර මාලාව ජපන් සමාජය පුරා දැඩි කනස්සල්ලට හා විවේචනයට හේතු වී ඇති අතර, විචාරකයින් පවසන්නේ ඒවා රටේ දිගුකාලීන “විශේෂයෙන්ම ආරක්ෂක නැඹුරු ප්‍රතිපත්තියෙන්” ඉවත්වීමක් බවත් සාමවාදී ව්‍යවස්ථාවට හානි කරන බවත්ය.

