ජර්මන් චාන්සලර් Friedrich Merz මහතාගේ චීන සංචාරය සරු ප්‍රතිඵල සහිත සාර්ථක සංචාරයක් බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ජර්මන් චාන්සලර්වරයාගේ චීන සංචාරය පිළිබඳ අදහස් දැක්වමින් මේ බව පැවසුවාය.
එම සංචාරයේදී Friedrich Merz මහතා චීන ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා හමු වී බොහෝ කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගත් අතර දෙරට ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනයක් ද නිකුත් කර ඇත. ලොව බලවත් රටවල් දෙකක් වශයෙන් චීනය හා ජර්මනිය උපාය මාර්ගික සම්බන්ධීකරණය හා විශ්වාසය ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් ඉදිරියට ගෙන යා යුතු බව චීන හා ජර්මානු නායකයින් අවධාරණය කර තිබේ. එසේ ම අන්‍යෝන්‍ය ගරුත්වය පදනම්ව චීනයට හා ජර්මනියට ඇතැම් මතභේද විවෘතව හා අවංකව සාකච්ඡා මාර්ගයෙන් තුරන් කළ හැකි බව මෞ නිං මහත්මිය කියා සිටී. ප්‍රායෝගික සහයෝගිතාව චීන-ජර්මන් සම්බන්ධතාවන්හි කැපී පෙනෙන ලක්ෂණයකි. ජර්මන් චාන්සලර්වරයාගේ මෙවර චීන සංචාරයට එරට ප්‍රධාන ව්‍යවසායන්හි ප්‍රධානීන් 30 දෙනෙකු එක් වීම විශේෂත්වයකි. චීනය සමග පවතින ප්‍රායෝගික සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ ජර්මනියේ අපේක්ෂාව හා විශ්වාසය එමගින් පිළිබිඹු වී ඇතැයි මෞ නිං මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

