කැනේඩියානු අගමැති Mark Carney මහතා රටේ මෝටර් රථ කර්මාන්තය පරිවර්තනය කිරීම සඳහා නව විදුලි වාහන උපාය මාර්ගයක් ප්‍රකාශයට පත් කරයි. පාරිභෝගික දිරිගැන්වීම් සහ ආයතනික බදු කප්පාදු සමග මෙය ක්‍රියාවට නැංවෙන බව අගමැතිවරයාගේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති ප්‍රවෘත්ති නිවේදනයක සඳහන් ය.
මෙම උපාය මාර්ගය යටතේ රජය කැනේඩියානු ඩොලර් බිලියන 2.3ක “විදුලි මොටර් රථ දැරිය හැකි වැඩසටහන” නැමැති පස් අවුරුදු සැලැස්මක් දියත් කරනු ඇත.
කැනේඩියානු රජය චීනය සමග මෑත කාලීන විද්‍යුත් මෝටර් රථ ගිවිසුම ඇතුළුව දැනට පවතින සහ නව වෙළඳ ගිවිසුම් උපයෝගී කර ගනිමින් දැවැන්ත නව ආයෝජනයන් දියත් කිරීමට, කැනඩාවේ වාහන අපනයන වෙළඳපොළ විවිධාංගීකරනය කිරීමට මෙන්ම කැනඩාව විද්‍යුත් මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ස්ථානගත කිරීමට කටයුතු කරන බව Mark Carney සිය නිවේදනයෙන් සඳහන් කර සිටී.
වර්තමානයේ, කැනේඩියානු නිෂ්පාදිත වාහනවලින් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් සහ මෝටර් රථ අමතර කොටස්වලින් සියයට 60ක් ඇමරිකාවට අපනයනය කරන බවත්, ඇමරිකානු මෝටර් රථ තීරුබදු කැනඩාවේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයට සහ එයට සහාය දක්වන සෘජු රැකියා 125000කට තර්ජනයක් වන බවත් එහි දැක්වේ.
දේශීය වෙළඳපොළ තුළ කැනේඩියානු මෝටර් රථ නිෂ්පාදකයින් සඳහා සමානාත්මතාව සහතික කිරීමට ඇමරිකානු මෝටර් රථ ආනයන සඳහා ප්‍රති-තීරුබදු කැනේඩියානු රජය විසින් පවත්වාගෙන යනු ඇති බව ද නිවේදනයේ සඳහන් වේ.

