ඇමරිකාව යුද මෙහෙයුමකින් ග්‍රීන්ලන්තය අල්ලා ගතහොත් එය නේටෝ සංවිධානයේ අවසානය වනු ඇති බව යුරෝපා සංගමයේ නිලධාරියෙකු පවසයි. යුරෝපා සංගමයේ ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරී Andrius Kubilius මහතා ඊයේ(12)මේ බව සඳහන් කළේය. ඩෙන්මාර්කය ඉල්ලීමක් කළහොත් ග්‍රීන්ලන්තයට ආරක්ෂක සහාය ලබා දීමට යුරෝපා සංගමයට හැකි බව ද හෙතෙම පැවසීය.
ඊයේ ස්වීඩනයේ Saelenහි පැවති ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ රැස්වීමකට එක්වූ අවස්ථාවේදී, හෙතෙම මාධ්‍ය වෙත මෙම අදහස් පවසා ඇත. ඇමරිකාව යුද මෙහෙයුමක් මගින් ග්‍රීන්ලන්තය අල්ලා ගතහොත් නේටෝ සංවිධානයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වනු ඇති අතර අන්තර් අත්ලාන්තික් සබඳතාව දරුණු ලෙස බිඳ වැටෙනු ඇති බවට ඩෙන්මාර්කයේ අගමැතිවරයා මීට පෙර ප්‍රකාශ කළේය. එම ස්ථාවරය පිළිගන්නා බව Andrius Kubilius මහතා එහිදී සඳහන් කර ඇත.
යුරෝපා සංගමයේ අදාළ ගිවිසුම්වලට අනුව, සිය සාමාජික රටක් සන්නද්ධ ආක්‍රමණයකට ලක් වුවහොත් වෙනත් සාමාජික රටවල් ඊට සහාය ලබා දීමට වගකීමෙන් බැඳි සිටින බවද හෙතෙම එහිදී පැහැදිලි කළේය.
ඩෙන්මාර්කය හා ඇමරිකාව යන රටවල් දෙකම නේටෝ සංවිධානයේ සාමාජික රටවල්ය. ග්‍රීන්ලන්තය කිසිවිටෙක අලෙවි නොකරන බව ග්‍රීන්ලන්තය හා ඩෙන්මාර්කය අවස්ථා කිහිපයකදීම අවධාරණය කර ඇත. එහෙත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඇමරිකාව ග්‍රීන්ලන්තය අත්පත් කර ගත යුතු බවය. ඒ සඳහා යුද බලය භාවිත කිරීමට සිදු වුවහොත් එය ඔහු ප්‍රතික්ෂේප නොකරන බවද පැවසීය.
මේ සම්බන්ධයෙන් ග්‍රීන්ලන්තයේ ස්වායත්ත රජය ඊයේ(12) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ කිසිදු අවස්ථාවකදී ඇමරිකාව ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම පිළිගත නොහැකි බවය. ග්‍රීන්ලන්තය ඩෙන්මාර්ක රජයේ කොටසක් මෙන්ම නේටෝ සංවිධානයේ කොටසක් බවත් ග්‍රීන්ලන්තයේ ආරක්ෂක කටයුතු නේටෝ සංවිධානය මගින් ක්‍රියාත්මක කළ යුතු බවත් එහිදී අවධාරණය කෙරිණ.

