නුදුරු කාලයේදීම දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම සම්බන්ධයෙන් චීනය ඉන්දියාව සමග සමීප සංනිවේදනයන් පවත්වා ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියන් මහතා පවසයි.
ලබන මාසයේදී දෙරට අතර සෘජු ගුවන් ගමන් අරඹන්නේ ද සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.
කෙටි දැනුම්දීමකින් චීනය වෙත ගුවන් ගමන් ඇරඹීමට සූදනමින් සිටින ලෙසට ඉන්දීය රජය එරට ගුවන් සමාගම් වෙත දැනුම් දී ඇතැයි ද පැවසේ. එහිදී අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා චීනය හා ඉන්දියාවේ සමස්ත ජනගහනය බිලියන 2.8 ඉක්මවන බව පැවසීය. දෙරට අතර ගුවන් ගමන් ඇරඹීම, දේශසීමා සංචාර, හුවමාරු හා සහයෝගතාවන්ට රුකලක් වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
දෙරට අතර සබඳතාවන්හි ධනාත්මක තත්ත්වයන් පිළිබඳ සඳහන් කරමින් ලින් ජියන් මහතා පැවසුවේ හවුල්කරුවන් ලෙසට එකිනෙකාට සහයෝගය දැක්වීම දෙරටේ නිවැරදි තේරීම බවයි. දෙරට නායකයන්ගේ පොදු අවබෝධයන් මත ඉන්දියාව සමග ක්‍රියා කිරීමට චීනය සූදානම් බවද හෙතෙම කීය.