පලස්තීනය සිය දේශභූමිය හා ඉතිහාසය විකුණා නොදමන බව පලස්තීන ජනපති මන්දිරය ප්‍රකාශ කරයි. පලස්තීන-ඊශ්‍රායල ගැටුම අවසන් වීමෙන් පසු ගාසා තීරය ඊශ්‍රායලය හරහා ඇමරිකාවට බාර දෙනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (6) සමාජ මාධ්‍යය මගින් කියා සිටියේ ය. ගාසා තීරය ඇමරිකාවේ දිගුකාලීන පරිපාලනයට ලක් කළ යුතු අතර ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජාතිකයන් වෙනත් රටවලට යා යුතු බව ද මීට පෙර ඔහු ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu සමග මාධ්‍ය හමුවකට එක්වූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ ය. පලස්තීනය සිය දේශභූමිය හා ඉතිහාසය විකුණා නොදමන බව ඇමරිකානු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පලස්තීන ජනපති මන්දිරය ඊයේ (6) නිවේදනය කළේ ය. පලස්තීන ජනතාව සිය නිත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් සිදු කර ඇති බවත්, පලස්තීනයට අයත් සෑම භුමියක්ම අත් නොහරින බවත්, එම නිවේදනයේ සඳහන් වේ. ගාසා තීරයේ වෙසෙන ජනතාවට වෙනත් කිසිදු රටක පරිපාලනයක් අවශ්‍ය නොවන බව එදිනම හමාස් සංවිධානය අවධාරණය කළේ ය. ගාසා තීරය පිළිබඳ ඇමරිකාවේ සැලැස්මට මුහුණ දීම සඳහා අරාබි රටවල නායක සමුළුවක් කඩිනමින් පවත්වන ලෙස හමාස් සංවිධානය ආයාචනයක් ද කර තිබේ.