ඇමරිකාව වෙත ගෙන්වනු ලබන සියලුම වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා සියයට 25ක නව තීරුබදු ප්‍රකාශයට පත් කරන බවත්, ඊට අදාළ නිල නිවේදනය අද (10) දිනයේ ප්‍රකාශයට පත් කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ තම වෙළෙඳ හවුල්කරුවන්ගේ තීරුබදු සමඟ සමපාත වන පරිදි අන්‍යෝන්‍ය තීරු බදු හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවයි.
ජනපති ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළද ජාතික ආරක්ෂාව හා සම්බන්ධ ගැටළු උපුටා දක්වමින් වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා පිළිවෙළින් සියයට 25ක් සහ සියයට 10ක් වන සේ තීරු බදු පැනවුවද, පසුව කැනඩාව, මෙක්සිකෝව සහ බ්‍රසීලය ඇතුළු ඇතැම් වෙළෙඳ හවුල්කරුවන් වෙත තීරු බදු රහිත කෝටා ලබා ගැනීමට ඉඩ දී තිබිණ.
හිටපු ජනපති ජෝ බයිඩ්න්ගේ ධුර කාලය තුළ ද ට්‍රම්ප්ගේ පාලනය තුළ හඳුන්වා දී තිබූ ඇතැම් තීරු බදු නිදහස් කිරීම් අඛණ්ඩව පවත්වා ගත් අතර යුරෝපා සංගමය සහ ජපානය, බ්‍රිතාන්‍යය යන රටවල් සඳහා වූ නව කෝටා දීර්ඝ කිරීමට පියවර ගත්තේය.
කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් සිදු කෙරෙන ආනයන සඳහා සියයට 25ක අමතර තීරු බදු පැනවීමටත්, චීනයෙන් සිදු කරනු ලබන ආනයන සඳහා සියයට 10කින් තීරු බදු ඉහළ දැමීම සඳහාත් වන විධායක නියෝගයන්ට ජනපති ට්‍රම්ප් පෙබරවාරි මස 01 වැනිදා අත්සන් තැබීය.