ඇමරිකාවේ තීරුබදු තර්ජනය චීනය සමග කටයුතු කිරිමේ නිවැරදි නොවන ක්‍රමයක් බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
දුර්ලභ පස් ආශ්‍රිත අයිතම සඳහා අපනයන පාලනයන් ශක්තිමත් කිරීමට චීනය පියවර ගෙන ඇත. එසේම ඇමරිකාව චීනයට එරෙහි සීමා හා සම්බාධක පියවර රැසක් පනවා තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(13) පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේය.
මෑතකදී ඇමරිකාව චීනයට එරෙහි සීමා හා සම්බාධක පියවර රැසක් අඛණ්ඩව නිවේදනය කර ඇති අතර ඉන් චීනයේ පලප්‍රයෝජනයන්ට දැඩි හානි සිදු කර ඇත. චීනය ඊට දැඩි ලෙස විරෝධය පළ කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය. සිය වැරදි නිසි ලෙස වටහා නොගෙන ඇමරිකාව චීන භාණ්ඩ සම්බන්ධයෙන් අධික තීරුබදු පනවන බවට තර්ජනය කර ඇත. එය චීනය සමග කටයුතු කිරීමේ නිවැරදි ක්‍රමයක් නොවන බවද හෙතෙම සඳහන් කළේය.
එම වැරදි ක්‍රියාව වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. චීන-ඇමරිකා සබඳතාවේ ස්ථාවර, විධිමත් මෙන්ම තිරසර සංවර්ධනය සඳහා දෙරටේ නායකයන් අතර සංවාදයේදී එළඹි වැදගත් එකඟතා යටතේ, සාධාරණ, ගරු කිරීම හා අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගැනීමේ පදනම මත, සංවාදය හරහා එකිනෙකාගේ අවශ්‍යතාවන් සපුරා ගනිමින් මතභේදයන් නිසි ආකාරයෙන් පාලනය කරන ලෙසට චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය. එසේම ඇමරිකාව අඛණ්ඩව අයුතු ලෙස ක්‍රියා කළහොත් චීනය ඊට එරෙහිව නිසි ප්‍රතිචාර දක්වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා අවධාරණය කළේය.

