අතීත සිදුවීම් සම්බන්ධයෙන් ජපානය දක්වන සැලකිල්ල පිළිබඳ දැඩි අවධානයකින් පසුවන බව දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ කථානායක Woo Won-shik මහතා පවසයි. ඓතිහාසිකව සහ ජාත්‍යන්තර නීතියට අනුව, Dokdo දූපත ජපානයට අයත් භූමියක් බවට ජපාන අගමැති Sanae Takaichi විසින් පසුගියදා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු මේ අදහස් පළ කර ඇත.
Dokdo දූපතෙහි හිමිකාරීත්වය සම්බන්ධයෙන් වන ජපානයේ ඊනියා භෞමික ස්වෛරීභාවය ප්‍රදර්ශනය කිරීම මේ සමඟින් ජපන් රජය පුළුල් කර ඇති බව කථානායක Woo Won-shik මහතා එහිදී පෙන්වා දී තිබේ.
ස්ථාවර අනාගතයයක් වෙනුවෙන් දකුණු කොරියාව සහ ජපානය අතර සබඳතා ශක්තිමත්ව පවත්වා ගැනීමට නම් මූලික කරුණු තුනක් ස්ථිරව පැවතිය යුතු බව හෙතෙම අවධාරණය කරයි. එනම්, වේදනාකාරී ඉතිහාසයට නිවැරදිව සැබෑ ලෙසින් සෘජුව මුහුණ දීම, ආර්ථික සහයෝගීතාව ගැඹුරු කිරීම මෙන්ම කොරියානු අර්ධද්වීපයේ සහ ඊසානදිග ආසියාවේ සාමය සඳහා හවුල්කරුවන් ලෙස එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම ය.
එමෙන්ම Sado දූපත් හි රත්‍රන් පතල් ආශ්‍රිතව බලහත්කාරයෙන් ශ්‍රම දායකත්වය ලබා ගත් දකුණු කොරියානු වින්දිතයින් සිහිපත් කරමින් මේ වසරේ දී තමන්ගේම අනුස්මරණ උත්සවයක් පැවැත්වීමට පියවර ගන්නා බව ද Woo Won-shik මහතා සඳහන් කර තිබේ. ජපානය සිය අනුස්මරණ දේශනයේ දී එම බලහත්කාර ශ්‍රමය පිළිබඳ කිසිදු සඳහනක් නොකළ බැවින් එම තීරණය ගෙන ඇති බව හෙතෙම පවසයි.
දෙවන ලෝක යුද සමයේ දී ජපාන අධිරාජ්‍යවාදීන් විසින් දහස් සංඛ්‍යාත කොරියානුවන් බලහත්කාරයෙන් එම රත්‍රන් ආකරය වෙත රැගෙන ගොස් එහි කම්කරුවන් ලෙස යොදා ගනිමින් දැඩි පීඩනයක් යටතේ ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑ බව දකුණු කොරියානු ඉතිහාසඥයින් ද පෙන්වා දී ඇත. දෙවන ලෝක යුද සමය තුළ කොරියානු අර්ධද්වීපය ජපන් යටත් විජිතකරණය යටතේ පැවති කාල වකවානුවේ දී Sado දූපත, යුදමය කටයුතු සඳහා අවශ්‍ය සන්නද්ධ ද්‍රව්‍ය නිෂ්පාදන පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයක් බවට පත් කර තිබිණ.
සිය ඊනියා සාම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජපානය මෑත කාලීනව ගත් පියවර ගැන ද කණස්සල්ල පළ කරමින් කථානායක Woo Won-shik මහතා අවධාරණය කර ඇත්තේ, ජපානය යුදමය තත්ත්වයන් සඳහා සන්නද්ධ රටක් බවට පරිවර්තනය කිරීම, නැගෙනහිර ආසියාවේ සාමය සඳහා වන පදනම අස්ථිර කරන්නක් වන බැවින් දකුණු කොරියාවට පමණක් නොව සියලු අසල්වැසි රාජ්‍යයන්ට ද එය පිළිගත නොහැකි බව ය.

