ශැංහයි සහයෝගිතා සංවිධානයේ Tianjin සමුළුව සහ ඒ හා සම්බන්ධ අවස්ථාවලට රටවල් 20කට වැඩි ප්‍රමාණයක නායකයින් සහ ජාත්‍යන්තර සංවිධාන 10ක ප්‍රධානීන් සහභාගී වනු ඇත. චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඊයේ (15) පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. ශැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් Nurlan Yermekbayev මහතා සමග පැවති එම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී හෙතෙම කියාසිටියේ සමුළුව අගෝස්තු 31 සිට සැප්තැම්බර් 1 වනදා දක්වා පැවැත්වෙන බවයි.
එදිනම Wang Yi මහතා Tianjin නගරයේ පැවැත්වෙන ශැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍ය කවුන්සිල රැස්වීමේ මුලසුන දැරීය. මෙම රැස්වීමට බෙලරූස්, ඉන්දියාව, ඉරානය, කසකස්තානය, කිර්ගිස්තානය, පාකිස්තානය, රුසියාව, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය ඇතුළු රටවල විදේශ අමාත්‍යවරුන් මෙන්ම ශැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම්වරයා සහ එම සංවිධානයේ කලාපීය ත්‍රස්ත විරෝධී ක්‍රියාකාරී කමිටුවේ අධ්‍යක්ෂවරයා ද සහභාගී වූහ.
ඉතිහාසයේ මෙන්ම අනාගතයේ වගකීම් දරමින් සංවිධානය තුළ ශක්තිමත් එකඟතාවයක් ගොඩනඟා ගත යුතු බව Wang Yi මහතා එහිදී අවධාරණය කළේය. එමෙන්ම සංවිධානයේ ප්‍රගතිය වෙනුවෙන් ඔහු යෝජනා පහක් එහිදී ඉදිරිපත් කළේය. ශැංහයි ජීවගුණය ආරක්ෂා කර ගනිමින් එය වර්ධනය කරා ගෙන යාම, ආරක්ෂාවේ පදනම තහවුරු කිරීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ සහයෝගීතාවය තුළින් සංවර්ධනයේ නව ධාරිතාවන් ගොඩනැගීම, සමීප මිත්‍රශීලී සබඳතා ප්‍රවර්ධනය කිරීම සහ සාධාරණත්වය මෙන්ම යුක්තිය ආරක්ෂා කිරීම සඳහා සාමාජික රටවල් එක්විය යුතු බව එම යෝජනාවන් වේ.
සාමාජික රටවල් චීනයේ සභාපතිත්වය යටතේ ලබා ගත් උසස් ඵලදායීතාවය එහිදී පැසසුමට ලක් කළහ. උපායමාර්ගික විශ්වාසය වර්ධනය කර ගනිමින් කලාපීය සංවර්ධනය හා සමෘද්ධිය උදෙසා ශැංහයි සහයෝගිතා සංවිධානය ඉටු කරන භූමිකාව ඉතා වැදගත් බව සියලු පාර්ශ්වයන්ගේ අදහස විය. එමෙන්ම ජාත්‍යන්තර වාතාවරණය හමුවේ එක්ව කටයුතු කරමින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාවය වැඩි දියුණු කර, ඒකපාර්ශ්විකත්වයට එරෙහිව නැඟී සිටිමින් ලෝක සාමය හා සංවර්ධනය සඳහා නව දායකත්වයක් ලබා දිය යුතු බවත් සහභාගී වූවන් ප්‍රකාශ කර ඇත.